Monday, August 25, 2014

Mini Anapana practical session in English


Mini Anapana Meditation
An Introductory Session by Mr. S.N. Goenka

Part 1
 Introduction by Mr. S.N. Goenka (15 mins - audio only)


Part 2 
Play and Practice for 10 minutes

Practice Session (10 mins - audio only)

Guidelines

  1. A Mini Anapana session should be conducted in a quiet hall or room suitable for meditation
  2. Participants must listen and practice carefully, sitting with their backs straight while maintaining complete silence through out the entire session
  3. Neither the person hosting the session nor anyone else should give any other instructions, live or recorded; the only instructions given should be that of Mr. Goenka's Mini Anapana recording
  4. There should be no charge whatsoever for attending a Mini Anapana session
Note: Participants who attend Mini Anapana sessions will not be considered as "Old Students" in this tradition. They can not participate in any programs designated as "For Old Students only".

ජීවත්වීමේ කලාව

සෑම කෙනෙක්ම සාමය සැනසිල්ල ප්‍රර්ථනා කරන්නේ
අපේ ජීවිත තුල අපට නැත්තේද එයම බැවිනි.

කලින් කලට
අප සෑම කෙනෙක්ම
සිත් කැළඹිල්ල කණස්සල්ල දොම්නස, දුක අත් විඳිමු.
සිත කැළැඹී දුක්විඳින අප
අපේ දුක් දොම්නස්
අපටම සීමා කරගන්නේද නැත.
අපි ඒ දුක් දොම්නස්
ඒ අයුරින්ම අන් අයටද බෙදා හරිමු.
දුකින් දොම්නසින් කල්ගතකරන කෙනෙකු
අවට වාතාවරණයද දුක් දොම්නස්වලින් පිරී යයි.
ඔහුට සමීප වන තැනැත්තන්ද කැළඹේ .
සත්යවශයෙන්ම මෙය ජීවත්වීමට සුදුසු මාර්ගයක් නොවේ.

අපි අප සමගද අන් අය සමගද
සාමයෙන් සමාදානයෙන් ජීවත්විය යුත්තෝ වෙමු.
සමාජයීය සත්වයෙකු ලෙස ජීවත්වන මිනිසා
සමාජයෙහි අන් අය සමග
සහ සම්බන්ධතාවය පැවැත්විය යුතුය.
එහෙත් අප සාමයෙන් ජීවත්වන්නේ කෙලෙසද?
අන් අයට සාමයෙන් සැනසිල්ලෙන්
දිවි ගෙවන්නට හැකිවන අයුරින්
අපි අප තුල
සාමය හා සැනසිල්ල පවත්වා ගන්නේත්,
අප අවට වාතාවරණයෙහි
සාමය සැනසිල්ල පවත්වා ගන්නේත් කෙසේද?

මෙම කැළැඹිල්ලෙන් මිදීමට නම්,
අප ඊට අදාළ මූලික හේතුව,
දුකට හේතුව සොයා ගත යුතුය.
අප ගැටළුව විමසා බැලූවහොත්
අපේ සිතේ  ඕනෑම අපිරිසිදුබවක්,
ක්ලේශයක් මතුවන හැම විටම
අප දුකට පත්වන බව අපට පැහැදිලි වෙයි.
සිතේ මතුවන ක්ලේශයක, අපිරිසිදු බවත් සමග
සාමය හා සමාදානයට එක්ව පැවතිය නොහැක.

අප සිතේ අපිරිසිදුතාවයක් මුලින්ම මතුවන්නේ කෙසේද?
විමසා බැලීමෙන් එයද පැහැදිලි වේ.
අප අකමැති ආකාරයට කිසිවෙකු හැසිරෙන විට හෝ
අකමැති දෙයක් සිදුවන විට
අපි අසතුටට පත්වෙමු.
බලාපොරොත්තු නොවූ දේ සිදුවන විට
ඇතුලතින් පීඩාවට පත්වෙමු.
අපේ අරමුණු ඉටු නොවන විට,
බාධක හමුවන විට
අපි,
නැවත ඇතුලත ආතතීන්
නිර්මාණය කර ගන්නෙමු.
ඇතුලත ගැට ගසා ගන්නෙමු.
මුළු ජීවිතය පුරාම
අප අකමැති දේ නිරන්තරයෙන්ම සිදුවන අතර
අප කැමති දේද සිදුවිය හැකිය.
සිදු නොවිය ද හැකිය.
එසේම ඒවාට ප්රතික්රියා දැක්වීමේ ක්රියාවලියද
නොකඩවා සිදුවෙමින්
අප තුල අපේ මුළු ශාරීරික හා මානසික
(නාම,රූප) ව්‍යුහයම ආතතියට පත්ව,
දොම්නසින් පීඩාවට පත්ව,
මුළු ජීවිතයම දුකක් බවට පත් වෙයි.

මේ අනුව,
මෙම ගැටළුවෙන් මිදීමට ඇති එක් මගක් නම්
අප ජීවිතෙයහි කිසිවක්
අප අකැමැති කිසිදෙයක් සිදුනොවී
සියලූ දේ සපුරා අප කැමැති ආකාරයන්ම සිදුවන සේ
කටයුතු සැලැස්වීමය.
අප අකැමැති දේ සිදුනොවී
අප කැමැති හැම දෙයක්ම සිදුවන ආකාරයට
සකස් කරගැනීම සදහා
එක්කෝ අප බලවත් විය යුතුය.
නැත්නම් බලවත් කිසිවෙකු
අපගේ ආධාරයට පැමිණිය යුතුය.
නමුත් එය කිසි සේත් සිදු නොවේ.
කිසිදු අකැමැති දෙයක් සිදුනොවී
හැම දෙයක්ම ඔහුගේ හෝ ඇයගේ රුචියටම ගැලෙපන සේ
ජීවිතයෙහි සියල්ල සිදුවන,
සියලූ අරමුණු නිබඳවම එසේම ඉටුවන
කිසිවෙකුත් මෙලොව නැත.
අපේ අරමුණු වලට හා බලාපොරොත්තු වලට පටහැනි දේ
නිරතුරුවම සිදුවෙයි.
එනයින් ගැටළුවක් පැන නගියි.
අප අකැමැති දේ ඉදිරියේ
අන්ධයින් සේ ප්‍රතික්රියා දැක්වීමෙන්
මිදෙන්නේ කෙසේද?
අප ඇතුලත පීඩනයට පත්කර නොගෙන
සාමයෙන් හා සමාදානයෙන්
ජීවත්  වන්නේ කෙසේද?

ඉන්දියාවේ මෙන්ම අනෙකුත් රටවලද
බුද්ධිමත් යහපත් පුද්ගලයින්
මෙම ගැටළුව,
මිනිසා විඳින දුක පිළිබද ගැටළුව
අධ්‍යයනය කරමින් විසඳුමක් සොයා ගත්හ.
එනම්,
ඔබ අකමැති කිසියම් දෙයක්  සිදුවී
ඔබ තරහෙන්, බයෙන් හෝ
එවැනි සෘණ හැඟීමකින් ප්රතික්රියා දැක්වීම අරඹන විට
හැකිතරම් ඉක්මනින් අවධානය
වෙනත් අරමුණක් වෙත යොමු කළ යුතුය.
උදාහරණයක් ලෙස නැගී සිටින්න.
වතුර වීදුරුවක් ගන්න, පානය කරන්න.
ඔබේ කෝපය වැඩිදියුණු නොවේ.
එය කෙමෙන් අඩුවීමට පටන් ගනී.
එසේ නැතිනම් ගණන් කිරීමට පටන් ගන්න.
එක, දෙක, තුන, හතර,
එසේත් නැතිනම් වචනයක් හෝ වාක්‍යයක්,
කිසියම් මන්ත්‍රයක් හෝ
ඔබ බැතිමත්ව වඳින පුදන දෙවි කෙනෙකුගේ නාමයන්
නොකඩවා යළි යළිත් කීමෙන්
ඔබේ මනස වෙනතකට යොමු වන අතර,
කිසියම් ප්‍රමාණයකට
ඔබ ඔබේ කෝපයෙන් හෝ
එවන් වූ සෘණ හැඟීම්වලින්
නිදහසක්  ලබනු ඇත.

මෙම විසඳුම ප්රයෝජනවත්  විය.
එය ඵලදායක ද විය.
එය අදටත් ක්රියාත්මක වෙයි.
මෙසේ ක්රියා කිරීමෙන්
මනස කැළඹීමෙන් නිදහස් වේ.
එසේ වුවද එම විසඳුම සාර්ථක වන්නේ
සිතේ මතුපිට මට්ටමේදී පමණි.
මතුපිට තලයෙහි සාමය හා සමාදානය පවතින නමුදු
සිතෙහි ගැඹුරෙහි සිත පතුලට ඔබා තබන ලද
සෘණාත්මක හැඟීම් වලින් සැදුන නිද්‍රෝපගත ගිනිකන්ද
කවර අවස්ථාවකදී හෝ බිහිසුණු පිපිරීමකට ලක්වනු ඇත.

ඇතුලාන්ත සත්යය පිළිබඳව ගවේෂණය කළ
වෙනත් ගවේෂකවරු සිය සමීක්ෂණ
තවත් ඉදිරියට ගෙන ගොස්
සිත සහ සිරුර පිළිබද සත්යතාවයන්
තමා තුළම අත්විදිමින්,
සිත වෙනතක යොමු කිරීම
ප්‍රශ්නයෙන් පලායාමක් පමණක් ලෙස
හඳුනා ගත්හ.
පලායාම විසදුමක් නොවේ.
ඔබ ප්‍රශ්නයට මුහුණ දියයුතුය.
සිතෙහි සෘණ සිතුවිල්ලක් ජනිත වූ විගස
එය නිරීක්ෂණය කරන්න.
එයට මුහුණ දෙන්න.
එසේ කරන විට
එහි ශක්තිය හීනවීමට පටන්ගනී.
ක්‍රමක්‍රමයෙන් එම සිතුවිලි පහවී යයි.  

මෙය හොඳ විසඳුමකි.
යටපත් කිරිම සහ ප්රකට කිරීම යන
අන්තයන් දෙකෙන්ම වෙන් වූවකි.
යටි සිතෙහි ඍණ හැඟීම් සඟවා දැමීමෙන්
ඒවා ඉවත් නොවේ.
එමෙන්ම ඒවා අකුසල කායික හෝ වාචික ක්රියාවලින්
මතුවීමට ඉඩ දුනහොත්
තව තවත් දුෂ්කරතා මතු වේ.
නමුත් ඔබ නිරීක්ෂණයේ යෙදෙනවා පමණක් නම්
කෙලෙස් පහ වී යයි.
එවිට ඔබ එයින් මිදුනේ වෙයි.

මේ විසඳුම
ඉතා විශ්මයජනක දෙයක් ලෙස හැඟන නමුදු
එය සැබවින්ම ප්‍රයෝගිකද?
සාමාන්‍ය කෙනෙකුට
කෙලෙස් වලට මුහුණ දීමේ හැකියාව තිබේද?
අප   තුළ කෝපය මතු වූ විට
එය අපව කොතරම් වේගයෙන් යටපත් කරගනීදැයි කිවහොත්
එය අපේ අවධානයට පවා ලක් නොවේ.
එවිට කෝපයෙන් මුසපත් වන අපි
අපට සහ අන් අයට හානිකර
ශාරීරික හෝ වාචික ක්‍රියාවන්ට පෙළඹෙමු.
පසුව කෝපය නිවී යෑමෙන් අනතුරුව,
මේ තැනැත්තාගෙන්, අර තැනැත්තාගෙන්
නැත්නම් දෙවියන්ගෙන් සමාව අයදිමින්
හඬා වැටෙමු. පසු තැවෙමු.
”අනේ මට සමාවෙන්න, මගෙන් අත් වැරැුද්දක් සිදුවුණා,
එනමුදු ඊළඟ අවස්ථාවේත්
ඊට සමාන සිදුවීමකදී
අපි නැවත එම අයුරින්ම ප්‍රතික්රියා දක්වමු.
පසුතැවීමෙන් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවේ.

අපට ඇති ගැටලූව නම්
මානසික අපිරිසිදුතාවය ඇරඹෙන විට
එය හඳුනා ගැනීමට අපොහොසත් වීමයි.
යටිසිතේ පත්ලෙන් මතුවන ක්ලේශයන්
උඩුසිත කරා එළඹෙන අතරමග
විශාල ශක්තියක් රැස් කරගෙන පැමිණෙන හෙයින්
ඉන් මුසපත් වන අපට
එය නිරීක්ෂණය කළ නොහැක.

අප කෝපයට පත්වීම පටන්ගන්නා විගසම
”ඔන්න තරහා එනවා” යි මට දැනුම් දෙන්නට
මා පුද්ගලික ලේකම්වරයෙකු පත් කරගත්තා යයි සිතමු.
මා කෝපයට පත්වන්නේ කවර වේලාවකදැයි නොදන්නා බැවින්
පැය විසිහතර පුරා වාර 3 කට
පුද්ගලික ලේකම්වරු  තුන් දෙනෙකු
මට අනතුරු අඟවයි.
කෝපය ඉස්මතු වීමට පටන් ගනී .
එවිට මගේ ලේකම් මට කියනවා -
”ඔන්න තරහා එනවා”,
මා කරන පළමු දේ නම්,
ඔහුට බැණ වැදීමයි.

”මෝඩයා මං උඹට පඩි ගෙවන්නේ මට උගන්නන්න කියලා හිතුවාද”
මා කොතරම් කෝපයෙන් මුසපත් වෙලා දැයි  කියතහොත්
ඒ වේලාවට  මට යහපත් අවවාද උපකාරී නොවේ.

මට ප්‍රඥාව පහළ වී මා ඔහුට බැණ වැදුනේ නැතැයි සිතමු.
ඒ වෙනුවට ”ඔබට බොහෝම ස්තූතියි.
මා දැන් වාඩි වෙලා මගේ කෝපය නිරීක්ෂණය කරන්න  ඕන”
මම කියමි.

එනමුදු එය කළ හැකිද?
මා ඉඳගෙන කෝපය නිරීක්ෂණය කිරීම ඇරඹූ විගසම
මගේ කෝපයට හේතු වූ අරමුණ,
මගේ කෝපය ඇවිස්සූ තැනැත්තා හෝ සිදුවීම
සිතට නැගෙයි.
එවිට මා නිරීක්ෂණය කරන්නේ
මගේ කෝපය නොවේ.
මගේ කෝපයට හේතු වූ බාහිර උත්තේජනයයි.
එවිට සිදුවන්නේ
සිතේ අපිරිසිදුතාවය වැඩිවීම බැවින්
එය විසඳුමක් නොවේ.
කිසිම භාවාත්මක හැඟීමක් හෝ සෘණ හැඟීමක්
එය ජනිත කළ බාහිර අරමුණෙන් වෙන්කොට
නිරීක්ෂණය කළ නොහැක.

කෙසේ වුවද
පරමාර්ථ සත්‍යය අවබෝධ කර ගත් උතුමෙකු විසින්
නියම විසඳුම සොයා ගෙන ඇත.
සිතෙහි කවර හෝ ක්ලේශයක් ජනිත වන අවස්ථාවක
ශාරීරික මට්ටමින් ක්‍රියාවන් දෙකක් සිදුවෙයි.
එකක් නම් ආශ්වාස ප්රශ්වාසයෙහි
ස්වාභාවික රිද්මය බිඳ වැටීමයි.
සිත අපිරිසිදු වූ ඕනෑම විටෙක
අපි තදින් හුස්ම ගැනීමට පටන් ගනිමු.
එය නිරීක්ෂණය කිරීම පහසුය.
එවිටම ඊට වඩා සියුම් මට්ටමකින්
ශරීරය ඇතුලත
ජෛව රසායනික ක්රියාවක් ඇරඹි
සංවේදනාවක් ජනිත වෙයි.
සෑම ක්ලේශයක්ම
කිසියම් ආකාරයක සංවේදනාවක්
ශරිරයෙහි ඇති කරවයි.

මෙයින් අපට
ප්‍රයෝගික වූ විසඳුමක් ඉදිරිපත් වෙයි.
සාමාන්‍ය තැනැත්තෙකුට
සිතේ මතුවන භාවාත්මක ක්ලේශයන්
භාවාත්මක භීතිය, කෝපය හෝ කාමය
නිරීක්ෂණය කිරීම කළ නොහැක.
එහෙත් නිසි මග පෙන්වීමක් හා
පුහුණුවක් ලැබීමෙන් පසු
මනසේ කෙලෙස් හා ඍජුව සම්බන්ධ
ආශ්වාස ප්‍රශ්වාස සහ ශාරීරික සංවේදනාවන්
ඉතා පහසුවෙන් නිරීක්ෂණය කළ හැක.

ආශ්වාස ප්‍රශ්වාස සහ ශාරීරික සංවේදනා
අපට දෙවිදියකින් ප්‍රයෝජනවත් වෙයි.
සිතේ කිසියම් ක්ලේශයක් මතු වූ විට
සිය සාමාන්‍ය ස්වභාවය අහිමි වන ආශ්වාස ප්‍රශ්වාස
”ඔන්න මොනවා හරි වැරදීමක් වෙලා”යි
හඬ නගා පවසනු ඇත.
ආශ්වාස ප්‍රශ්වාසයට දොස් නැගිය නොහැකි නිසා
අපට ඒ අනතුරු ඇඟවීම පිළිගැනීමට සිදුවෙයි.
එලෙසින්ම ශාරීරික සංවේදනා
කිසිවක් වැරදි ඇති බව අපට පවසනු ඇත.
එසේ අනතුරු හඟවනු ලැබීමෙන්
අප ආශ්වාස ප්‍රශ්වාස සහ
සංවේදනා නිරීක්ෂණය කිරීම ඇරඹූ විට
ඉතා ඉක්මණින් ක්ලේශය පහව යන බව
අපට පැහැදිලි වෙයි.

මෙම මානසික හා ශාරීරික  (නාම-රූප) ක්රියාදාමය
එකම කාසියක දෙපස වැන්න.
එක් පසෙක සිතේ ජනිත වන හැඟීම් හා සිතුවිලිය.
අනෙක් පස ආශ්වාස ප්‍රශ්වාස සහ ශාරීරික සංවේදනාවන්ය.
සිතේ මතුවන හැගීම් සිතුවිලි හෝ ක්ලේශයන්
ආශ්වාස ප්‍රශ්වාසයෙන් හා
ශාරීරික සංවේදනාවන්ගෙන් පිළිබිඹු වෙයි.
එනයින් ආශ්වාස ප්‍රශ්වාසය හෝ සංවේදනා නිරීක්ෂණයේදී
ඇත්ත වශයෙන්ම අප නිරීක්ෂණය කරන්නේ
සිතේ මතුවන ක්ලේශයන්ය.
අපි ප්‍රශ්නයෙන් පලායාම වෙනුවට
පවතින සත්‍යයට එලෙසින්ම මුහුණ දෙමු.
එහි ප්‍රතිඵලයක් ලෙස
චිත්ත ක්ලේශයන්හි බලය පිරිහෙන අතර
ඒවා අතීතයෙහි මෙන්
අප මුසපත් කරවීමට සමත් නොවන්නේය.
අප මේ ස්වයං නිරීක්ෂණය
නොකඩවා කරගෙන ගියහොත්
කාලය සමග
ක්ලේශයන් සපුරාම පහව ගොස්
සාමයෙන් හා සතුටෙන් සිටීමට හැකිවෙයි.

මේ අයුරින්
ස්වයං නිරීක්ෂණ ක්‍රමය මගින්
සත්‍යය දෙයාකාරයකින් ප්‍රකට වේ.
එනම් අභ්‍යන්තර සත්‍යය හා
බාහිර සත්‍යය වශයෙනි.
මින් පෙර බැහැරට යොමු වී සිටි
අපට අභ්‍යන්තර සත්ය ස්වභාවය මග හැරී තිබිණි.
අපි නිබඳවම
අපේ අසන්තෝෂයට හේතුව සොයා
බාහිර ලොව විමසුවෙමු.
නිරතුරුවම බාහිර සත්‍යතාවයට දොස් පවරමින්
එය වෙනස්කර ගැනීමට උත්සාහ කළෙමු.
අභ්‍යන්තර සත්‍යතාවය පිළිබදව
අවිද්‍යවෙන් පසු වූ අපි
අපේ දුකට හේතුව
අප තුලම පවතින
ප්‍රියජනක හා අප්‍රියජනක සංවේදනාවන්ට
අන්ධලෙස ප්‍රතික්රියා දැක්වීම බව
වටහා නොගත්තෙමු.

දැන් නිසි පුහුණුවත් සමග
අපට කාසියෙහි අනෙක් පස දිස්වෙයි.
අපට ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳව මෙන්ම
අප තුළ සිදුවන දේ ගැන ද
සිහියෙන් පසුවිය හැක.
ආශ්වාස ප්‍රශ්වාස හෝ සංවේදනා කුමක් වුවද
අපි අපේ මානසික සමතුලිතතාවය නැති කර නොගෙන
එය නිරීක්ෂණය කිරීමට ඉගෙන ගනිමු.
ප්‍රතික්‍රියා කිරීම සහ අපේ දුක වර්ධනය කර ගැනීම
නතර කර ගන්නෙමු.
ඒ වෙනුවට
අපි කෙලෙසුන් වලට මතු වී
වියැකී යන්නට ඉඩ හරින්නෙමු.

කෙනෙකු මෙම ක්‍රමය
වැඩි වැඩියෙන් පුහුණු වන විට
වඩාත් ඉක්මනින්
කෙලෙසුන් දිය වී යන්නට පටන් ගනියි.
කෙමෙන් සිත කෙලෙසුන්ගෙන් දුරුවී
පවිත්‍ර වෙයි.
පිවිතුරු සිත නිබඳවම මෛත්‍රියෙන්
සියල්ලන් කෙරෙහි වූ ආත්ම මානයෙන් තොර
ආදරයෙන් පිරුණේ වෙයි.
එසේම පිවිතුරු සිත
අන් අයගේ පරාජයන්හි හා දුක් දොම්නස්හි පතල කරුණාවෙන්ද
ඔවුන්ගේ සාර්ථකත්වයේදී හා සතුටේදී මුදිතාවෙන්ද
සියලූ ආකාරයේ සිදුවීම් වලදී උපේක්ෂාවෙන්ද පිරුණේ වෙයි.

කෙනෙකු මේ තලයට ළගා වන විට
ඔහුගේ මුළු ජීවිත රටාවම වෙනස් වේ.
කවරකුගේ හෝ සිතේ
සාමයට හා සමාදානයට හානිවන අයුරින්
ශාරීරිකව හෝ වාචිකව ක්‍රියාකිරීමට
ඔහු තවදුරටත් අපොහොසත් වෙයි.
ඒ වෙනුවට,
සමබර සිතේ සමාදානය පැතිරි,
අන් අයටද බලපා ඔවුනටද උපකාරී වෙයි.

එසේම විඳින දුක් සියල්ලම හමුවෙහි
ඇතුලාන්ත වශයෙන්
උපේක්ෂාවෙන් සිටීමට පුහුණුවීම හේතුවෙන්
බාහිර ලෝකය තුල අත්විදින්නට සිදුවන
සියලූ අත්දැකීම් වලදී නොබැඳුණු බවක්
වර්ධනය වෙයි.
කෙසේ වුවද මේ නොබැඳුණු බව
ලෞකික ප්‍රශ්න වලින් පලායාමක් හෝ
නොසළකා හැරීමක් නොවේ.
නොකඩවා විපස්සනා පුහුණුවේ යෙදෙන තැනැත්තා
අන් අයගේ දුක් දොම්නස් වලට
වඩ වඩාත් සංවේදී වන අතර
දුක් විදින තැනැත්තා විඳින දුකෙන් මුදවා ගන්නට
හැකි අයුරින් ක්රියා කරන අතර
එසේ කරන්නේද කැළඹීමකින් තොරව
මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන් හා
උපේක්ෂාවෙන් පිරුණු සිතිනි.
සිතේ සමබරතාවය රැක ගනිමින්ම
අන් අයට පූර්ණ කැපවීමෙන්
පූර්ණ සහභාගීත්වයෙන් යුතුව
උපකාර කිරීමේ කලාව
ඔවුහු ඉගෙන ගනිති.
මේ ආකාරයෙන්
අනික් අයගේ සාමය හා සතුට වෙනුවෙන් ක්රියා කරමින්
ඒ අයද සාමයෙන් හා සතුටින් ජීවත් වෙති.

බුදුන් වහන්සේ ඉගැන්වූයේ මෙයයි.
ජීවත්වීමේ කලාවයි.
උන්වහන්සේ ආගමික සංස්ථාවක්,
ආගමක් ගොඩනැගුවේ නැත.
උන්වහන්සේ සරණ ගිය අයට
යාගහෝම පුද පූජා පුහු වතාවත් ආදිය
ඉගැන්වූයේ නැත.
ඒ වෙනුවට ස්වාභාවික සත්‍යය,
තමා තුල සත්‍ය ස්වභාවය නිරීක්ෂණය කරන්නට ඉගැන්වූහ.

අවිද්‍යාව නිසා
අපි අපට මෙන්
අන් අයටද හානිකර අයුරින්
ප්රතික්රියා දක්වන්නෝ වෙමු.
එනමුදු අප තුළ සත්‍ය ස්වභාවය
එලෙසින්ම දැකීමේ ප්රඥාව පහළ වන විට
ප්රතික්රියා දැක්වීමේ පුරුද්ද ගිලිහී යයි.
අප අන්ධ ලෙස ප්රතික්රියා කිරීමෙන් මිදෙන විට
අපට නියමාකාරයට ක්රියා කිරීමේ හැකියාව ලැබෙයි.
එවැනි ක්රියාවක්
නිර්මාණශීලි ධනාත්මක සහ
තමාටත් අන් අයටත් උපකාරී වන
ක්රියාවක්ම පමණක් වෙයි.

සෑම ප්රඥාවන්ත පුරුෂයෙකුම අවවාද දුන් පරිදි
”තමාම හඳුනා ගන්න”ට අපට අවශ්ය වන්නේ කුමක්ද?
අප විසින් අප හඳුනාගත යුත්තේ
හුදු බුද්ධියෙන්
අදහස් හා සිද්ධාන්ත මට්ටමින් හෝ
හුදු හැගීම්බර,
භක්තිමත් ස්වභාවයෙන් හෝ
අප අසා කියවා ඇති දෙයට
නිතැතින්ම එකග වීමෙන් හෝ නොවේ.
ඒ දැනුම ප්රමාණවත් නොවේ.
අප විසින් සත්ය ස්වභාවය අත්විඳිය යුතුය.
ශාරීරික හා මානසික සබඳතාවය පිළිබඳ සත්‍ය ස්වභාවය
අපි සෘජුවම අත්විඳිය යුතු වෙමු.
අපට කෙලෙසුන් දුරු කිරීමට හා
දුකින් මිදීමට උපකාරී වන්නේ එයම පමණි.

අප තුළ වූ අපේම සත්‍ය ස්වභාවය
සෘජුවම අත්විඳීම,
මෙම ස්වයං නිරීක්ෂණයේ යෙදෙන ක්‍රමය
(විපස්සනා” භාවනා ක්‍රමය ලෙස හැඳින්වේ.
බුදුන්වහන්සේගේ කාලයේ
ඉන්දියාවේ භාවිත වූ බසින්
”පස්සනා” යනු
විවෘත දෑසින් සාමාන්ය ලෙස දැකීමයි.
එහෙත්  ”විපස්සනා” යනු
කිසියම් දෙයක සත්‍ය ස්වභාවය
ඇති සැටියෙන්ම දැකීම මිස
එය තමාට පෙනෙන ආකාරයට දැකීම නොවේ.
ශාරීරික හෝ මානසික ව්‍යුහයේ
පරමාර්ථ සත්‍ය ස්වභාවය
පූර්ණ ලෙස දකින තුරුම
අප මතු පිටින් පෙනෙන ස්වභාවය
විනිවිද යා යුතුය.
අප මෙම සත්‍ය ස්වභාවය අත්දකිමින්,
අන්ධ ලෙස ප්රතික්රියා නොකර සිටින්නේ කෙසේද
යන්න ඉගෙන ගන්නා විට,
නව සංස්කාර ඇතිකරගැනීමෙන්ද වැළකී සිටින අතර
පැරණි සංස්කාරද කෙමෙන් දුරු වී යයි.
එවිට සියලූ දුකින් මිදෙන අපි
සැබෑ සතුට අත් විඳිමු.

විපස්සනා පාඨමාලා පුහුණුව පියවර තුනකින් සමන්විතය.
පළමුව තමන් තවත් කෙනෙකෙුගේ
සාමය සමාදානය බිඳෙන අයුරින්
ශාරීරිකව හෝ වාචිකව ක්‍රියාවන් කිරීමෙන්
වැළකිය යුතුය.
ශාරීරිකව හෝ මානසිකව
කෙලෙසුන් වැඩිදියුණු වන අයුරින් හැසිරෙන අතරම
මනස කෙලෙසුන්ගෙන් දුරු කර ගැනීමටද
ක්‍රියා කළ නොහැක.
එනිසා
පුහුණුවේ පළමු අත්‍යාවශ්‍ය පියවර වන්නේ
සිල්වත් වීමයි.
කෙනෙකු ප්‍රාණඝාතයෙන්, නුදුන් දේ ගැනීමෙන්,
කාම මිථ්‍යාචාරයෙන් මුසාවාදයෙන් සහ
මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතයෙන්  වැළකී සිටීමට
එකඟ විය යුතුයි.
එම ක්‍රියාවන්ගෙන් වැළකී සිටීම නිසා
අප යෙදෙන්නට යන කාර්යය
කරගෙන යාමට ප්‍රමාණවත් තරමට
මනස සන්සුන් වෙයි.

ඊළඟ පියවර නම්
මේ කලබලකාරී සිත
එකම අරමුණක,
එනම් ආශ්වාස ප්රශ්වාසයෙහි
නොකඩවා රඳවා තබා ගැනීමට හැකිවන ප්රමාණයට
සිත දමනය කර ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීමය.
කෙනෙකු සිය අවධානය
ආශ්වාස ප්‍රශ්වාස මත
හැකිතරම් වේලාවක්
නොකඩවා රඳවා තබා ගැනීමට
වෑයම් කළ යුතුයි.
එය ව්‍යායාමයක් නොවේ.
කෙනෙකු ස්වාභාවික ආශ්වාස ප්‍රශ්වාස,
ඇතුල් වන විට ඒ අයුරින්මද,
පිටවන විට ඒ අයුරින්මද නිරීක්ෂණය කරයි.
තවදුරටත්
දැඩි කෙලෙසුන්ගේ බලයට නතු නොවන සිත
මේ මඟින් තව තවත් නිවේ.
ඒ සමඟම ඔහු සිත එකඟ කරගනිමින්
තියුණු බවට හා විනිවිද යන සුළු බවට පත්කර ගනිමින්
විපස්සනා භාවනාව  සඳහා තම සිත සකස් කර ගනියි.

සිල්වත්ව ජීවත්වීම සහ සිත එකඟ කර ගැනීම
යන පළමු දෙපියවර තනි තනිව ගත් කල වුවද
ප්‍රයෝජනවත්ය.
එහෙත් තෙවන පියවර
එනම්,
තමා තුල වූ සත්‍ය ස්වභාවය විනිවිද දකින්නට
මනස කෙලෙසුන්ගෙන් වියුක්ත කිරීම නොකරන්නේ නම්
එම පළමු දෙපියවර
කෙලෙසුන් යටපත් කිරීමට පමණක්
ඉවහල් වෙයි.

තෙවන පියවර නම් විපස්සනා වැඞීමයි.

එනම්,
නිරන්තරයෙන් වෙනස්වෙමින්
සංවේදනා ලෙස ප්‍රකට වන
නාමරූප (සිතෙහි සහ කයෙහි) ක්‍රියාදාම
තමා තුළ අත්දකිමින්,
හැඟීම්බර වීමෙන් තොරව හා ක්‍රමානුකූලව
නිරීක්ෂණය කිරීමයි.

මේ බුදුන් වහන්සේගේ ධර්මයෙහි අග්රඵලයයි.
ස්වයං නිරීක්ෂණයෙන් ස්වයං විශුද්ධියට පත්වීමයි.

එය සෑම කෙනෙකුටම පුහුණුවිය හැක.
සෑම කෙනෙක්ම දුක නම් වූ ගැටළුවට මුහුණ දෙයි.
එය විශ්ව සාධාරණ ප්‍රතිකර්මයක් අවශ්‍ය වන
විශ්ව සාධාරණ රෝගයකි.
කිසිවෙකු කෝපයට පත් වූ විට
එය බෞද්ධ කෝපයක්, ක්‍රිස්තියානි කෝපයක් නොවේ.
කෝපය යනු කෝපයයි.
කෙනෙකු මානසික කැළඹිල්ලට පත් වූ විට
එය ක්‍රිස්තියානි යුදෙව් හෝ මුස්ලිම් කැළඹිල්ලක් නොවේ.
රෝගය විශ්වයටම පොදුය.
ප්‍රතිකාරයද සියල්ලන්ටම පොදු විය යුතුය.

විපස්සනා එවැනි ප්‍රතිකර්මයකි.

අන් අයගේ සාමය සමාදානය රැකෙන සේ
සිල් රැකීම පිළිබඳව
කිසිවෙකුටත් විරුද්ධ විය නොහැක.
සිත පාලනය කර ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීම ගැන
කිසිවෙකුටත් විරුද්ධ විය නොහැක.
සිතේ අපිරිසිදු බව නැති කර ගැනීමට ඉවහල් වන අයුරින්
තමාගේ ස්වභාවය
විනිවිද දැකීමේ ස්වභාවය දියුණු කර ගැනීම පිළිබඳ
කිසිවෙකුටත් විරුද්ධ විය නොහැක.
විපස්සනා විශ්ව සාධාරණ මාර්ගයකි.

ඇතුලාන්ත සත්‍ය ස්වභාවය නිරීක්ෂණය කිරීම මගින්
සත්‍ය ස්වභාවය ඒ පවතින අයුරින්ම නිරීක්ෂණය කිරීමෙන්
සෘජුවම අත්දැකීමක් ලෙස
කෙනෙකු තමා හඳුනා ගනියි.
විපස්සනා පුහුණු වන විට,
කෙනෙකුගේ දුකට හේතුවන කෙලෙසුන්ගෙන් මිදේ.

නාමරූප ධර්මතාවය
ගොරෝසු බාහිර, මතුපිටින් පෙනෙන සත්‍යයේ සිට
පරමාර්ථ සත්‍යය කරා විනිවිද ගමන් කරයි.
කෙනෙක් එයද ඉක්මවා
නාමරූප ධර්මතාවයෙන් ඔබ්බෙහි,
කාලය හා අවකාශය පිළිබඳ සීමාවන්ගෙන් ඔබ්බෙහි,
සාපේක්ෂ ද්‍රව්යමය තලයෙන් ඔබ්බෙහි වූ සත්‍යය
සියලූ කෙලෙසුන්ගෙන් සියලූ අපිරිසිදුතාවයෙන්
සියලූ දුකින් විනිර්මුක්ත වූ සත්‍යය අත්දකී.

කෙනෙකු මෙම සත්‍යය හඳුන්වන්නට යොදන නම අදාල නැත.
සෑම කෙනෙකුගේම අවසාන අරමුණ එයයි.

ඔබ සියලූ දෙනාම පරමාර්ථ සත්‍යය අවබෝධ කර ගනිත්වා.
සියල්ලෝම දුකින් මිදෙත්වා
සියල්ලන්ටම සැබෑ සාමය සැබෑ සතුට, සැබෑ සැනසිල්ල අත්වේවා.
සියල්ලෝම සතුටට පත් වෙත්වා!

---------------------------------------------------------------------------------------------
ඉහත දැක්වෙන ලිපිය
එස්. එන්. ගොඑන්කා තුමා විසින්
ස්විට්සර්ලන්තයේ බර්න් නගරයේදී
පවත්වන ලද දේශනයක් ඇසුරින්
සකස් කෙරුණකි.
 =============================
ප්‍රවේශය

Saturday, August 23, 2014

විනය නීති සංග්‍රහය

භාවනා ක්රමය පිළිබඳ හැඳින්වීම

විපස්සනා භාවනාව ඉන්දියාවේ තිබූ ඉතාම පැරණි භාවනා ක්රමයකි. මිනිස් සංහතියෙන් බැහැරව තිබූ විපස්සනා, අවුරුදු 2500 කට පෙර, ගෞතම බුදුන් වහන්සේ විසින් නැවත සොයා ගන්නා ලදී. ’විපස්සනා’ යනු ඇත්ත ඇති සැටියෙන් දැකීමයි. එය තමා පිළිබඳව නිරීක්ෂණයක යෙදෙන ක්රියාවලියකි. සිතේ ඒකාග්රතාවය සඳහා  තමාගේම ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳව අවබෝධයෙන් බැලීම මෙහි මූලික අවස්ථාවයි. එසේ පැහැදිලිව දැකීමෙන් යෝගාවචරයා කයේ සහ සිතේ වෙනස් වන ස්වභාවය අවබෝධ කරගනී. මේ අවබෝධය තුළින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පිළිබඳව යථාවබෝධය ලබයි. මෙසේ ඇත්ත ඇති සැටියෙන් දැකීම චිත්ත පාරිශුද්ධියේ ක්රියාවලියයි. මෙම සම්පූර්ණ ධර්ම මාර්ගය ලෝකයේ ඇතිවන නොයෙකුත් ගැටළු නිරාකරණය කර ගැනීමට ඉවහල් වන පොදු මාර්ගයයි. මෙය මොනම ආගමකට හෝ ආගමික කොටසකට බලපාන්නක් නොවේ. එම නිසා මේ ක්රමය සෑම කෙනෙකුටම ඕනෑම වේලාවකදී  ඕනෑම අවස්ථාවකදී ආගම්, ජාති කුල භේදයෙන් තොරව නිදහසේ ප්‍රගුණ කළ හැකි අතර සෑම කෙනෙකුටම එක හා සමානව ඵලදායි වන බව ප්‍රත්යක්ෂ වේ.

විපස්සනා භාවනාව,
  • අන්ධ විශ්වාසය මත ගොඩ නැගුනු පූජාවිධි ක්රමයක් නොවේ.
  • බුද්ධිමය හෝ දාර්ශනික සාදයක් නොවේ.
  • විවේකයක් හෝ රෝග නිවාරණයක් හෝ නිවාඩුවක් ගත කිරීමක් හෝ පුද්ගලයන් දැන හඳුනා ගන්නා අවස්ථාවක් නොවේ.
  • එදිනෙදා ජීවිතයේදී මුහුණපෑමට වන හිරහැර පීඩාවන්ගෙන් පලායාමක් නොවේ.
  • විපස්සනාව යනු කුමක් ද?
  • දුක සහමුලින් නැති කර දමන ක්රමයකි.
  • ජීවිතයේ ගැටලූ සහ පීඩනයන්ට සංසුන්ව සහ සමබරව මුහුණදීමට හැකිවන පරිදි සිතේ පවිත්‍රතාවය ඇති කරන ක්රමයකි.
  • සමාජයට ධනාත්මක වශයෙන් මෙහෙවරක් කිරීම සඳහා උපයෝගී කරගත හැකි ජීවත්වීමේ කලාවකි.

විපස්සනා භාවනාවේ අරමුණ වන්නේ අධ්‍යාත්මික වශයෙන් සම්පූර්ණයෙන්ම කෙලෙස් ප්‍රහීණ කොට ලබන උතුම් නිකෙලෙස් භාවය ලබා ගැනීමයි. ශාරීරික රෝග පීඩාදිය සුව කර ගැනීම එහි අරමුණ නොවන නමුත් ඉන් ලබන මානසික පාරිශුද්ධිය හේතු කොටගෙන මනසට අදාළ නොයෙකුත් රෝග පීඩා නිවාරණය වේ. ඇත්ත වශයෙන් ම, මෙම භාවනා ක්රමය මගින් දුකට හා දොම්නසට බලපාන රාග, ද්වේශ, මෝහ යන හේතූන් සහමුලින්ම නැති කොට ප්‍රීතිමත්ව ජීවත්වීමේ ක්‍රමයක් බව පෙන්වා දී ඇත. නොකඩවා විපස්සනා ප්‍රගුණ කිරීමෙන් එදිනෙදා ජීවිතයේ දී ඇතිවන අසහනකාරී තත්ත්වයන් දුරු කර ගැනීමට හැකි වේ. සොම්නස් හා දොම්නස් අවස්ථාවලදී සමබර තාවයකින් තොරව,  මෙතෙක් පුරුදු  වී තිබුණු ආකාරයට ප්‍රතික්රියා දැක්වීමෙන් ඇති කරගත් බන්ධනවලින් මිදීමට හැකි වේ.

විපස්සනා භාවනාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දක් වුවත් එය ප්‍රගුණ කිරීම බෞද්ධයන්ට පමණක් සීමා නොවේ. මෙහිදී ආගම වෙනස් කිරීම කිසිසේත් සිදු නොවේ. සෑම මිනිසෙකුම ජීවිතයේදීමුහුණ දෙන ගැටළු එක සමානය  යන සරල පදනම මත මෙම භාවනා ක්රමය ක්රියාත්මක වේ. මෙම ගැටලූ සහමුලින් ඉවත් කර දැමීමට හැකි වන ක්රමය කාටත් අදාල විශ්වීය ක්රමයකි. විවිධ ආගමික සම්ප්‍රදායන්ට අයත් වූවන් විපස්සනා භාවනාවෙන් ඵල ප්‍රයෝජන ලබා තිබෙන අතර, තම ආගමික විශ්වාස සමග එහි ගැටීමක් නැති බව ඔවුන් අවබෝධ කරගෙන තිබේ.

භාවනාව සහ ස්වයං ශික්ෂණය

තම සිත දෙස තමාම බැලීමෙන් ලබන ස්වයං පාරිශුද්ධි ක්‍රියාවලිය ඇත්ත වශයෙන්ම පහසු නොවේ. ඒ සඳහා ඉතා උනන්දුවෙන් ක්‍රියා කළ යුතුයි. සිසුන් තමාගේ ම අප්‍රතිහත ධෛර්යය තුළින් ප්‍රත්‍යක්ෂ අවබෝධය කරා පැමිණේ . එය කෙනෙකු වෙනුවෙන් තවත් කෙනෙකුට කළ හැකි කාර්යය නොවේ. එම නිසා මෙම භාවනා ක්‍රමය ගැලපෙන්නේ, භාවනා පුහුණුවටම අදාළ අංගයක් වන්නාවූද, සහභාගිවෙන සිසුන්ගේ අභිවෘද්ධිය සහ ආරක්ෂාව සඳහා සකස්කර ඇති නීති රීති පිළිපැදීමට කැමති වන අතර දැඩි උනන්දුවකින් ක්රියා කළ හැකි අයට පමණි.

යටි හිතේ ඉතා ගැඹුරු තලයට විනිවිද ගොස් එහි තැන්පත් වී ඇති සංස්කාර ප්‍රහීන කරන ක්‍රමය ඉගෙනීමට  දින දහයක් වැනි සුළු කාලයක් ඇත්ත වශයෙන්ම ප්රමාණවත් නොවේ. මෙම ක්‍රමයේ සාර්ථකත්වයේ රහස වන්නේ හුදකලාව අඛණ්ඩව ප්‍රගුණ කිරීමයි. මෙම ප්‍රායෝගික පැත්ත ගැන සළකා බලා නීතිරීති සම්පාදනය කර තිබේ. මේවා මූලික වශයෙන් ගුරුවරයාගේ හෝ පාඨමාලා කළමනාකාරිත්වයේ ප්‍රයෝජනය සඳහා නොවේ. එමෙන්ම එම නීතිරීති කිසියම් ආගමක් , අන්ධ විශ්වාසයක් හෝ කිසියම් සම්ප්‍රදායක් හෝ ලෝක සම්මතයක් හෙළා දැකීමට ද නොවේ. අනික් අතට, එ් නීතිරීති පදනම් වී ඇත්තේ වසර ගණනාවක් තිස්සේ යෝගීන් දහස් ගණනක් ලබා ඇති ප්‍රායෝගික අත්දැකීම් මතය. එමෙන්ම  විද්‍යාත්මක මෙන්ම තර්කානුකූල ද වන මෙම නීති රීති පිළිපැදීමෙන් භාවනාවට උපකාරි වන යහපත් පරිසරයක් ගොඩ නැගේ. එමෙන්ම නීතිරීති උල්ලංඝනය කිරීමෙන් පරිසරය දූෂණය වේ.

සිසුන් මුලු පාඨමාලා කාලය තුළම භාවනා මධ්‍යස්ථානයේ ර්‍අඳීඳී සිටිය යුතු අතර අනිකුත් නීති ද ඉතා සාවධානව කියවා සලකා බැලිය යුතුය. මෙම විනය නීති අවංකවම ඉතා දැඩි ලෙස පිළිපැදීමට හැකි යැයි සිතන අය පමණක් පාඨමාලාවට ඇතුලත් වීම සඳහා ඉල්ලූම් කළ යුතු වේ. අධිෂ්ඨානශීලීව වීර්යයෙන් වෑයම් නොකරන අය තමන්ගේ කාලය නාස්ති කරනවා පමණක් නොව, උනන්දුවෙන් වැඩ කිරීමට කැමැත්තක් දක්වන අයට බාධාවක්ද වෙයි. විනය නීති මාලාව පිළිපැදීම ඉතා දුෂ්කර ලෙස හැඟී පාඨමාලාව සම්පූර්ණ නොකර අත්‍ර මැදදී ඉවත්ව යාම අවාසිදායක ක්‍රියාවක් මෙන්ම නුවණට හුරු නොවන බවද පාඨමාලාවට ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වන අය තේරුම් ගත යුතු කරුණකි. එමෙන්ම, කිසියම් සිසුවෙකුට නැවත නැවතත් සිහිපත් කිරීමෙන් පසුවත් විනය නීති නොපිළිපැදීමේ හේතුවෙන් ඉවත්ව යන ලෙස කීමට සිදු වුවහොත් එයද ඉතාමත් කණගාටුදායක තත්වයකි.

දැඩි මානසික ආබාධවලින් පෙලෙන්නන්:

මේ භාවනා ක්‍රමයෙන් මානසික රෝගවලට සුවයක් හෝ සහනයක් ලැබෙනු ඇතැයි යන අපේක්ෂාවෙන්, දැඩි මානසික ආබාධ වලින් පෙළෙන පුද්ගලයෝ සමහර අවස්ථාවල භාවනා පාඨමාලාවලට සහභාගි වෙති. විවිධාකාර ප්‍රතිකාර වලට භාජනය වී තිබීම නිසා එබඳු පුද්ගලයන්ට මේ භාවනා ක්රමයෙන් ප්රයෝජන ලැබීමට නොහැකි වීමට හේතුවක් වේ,  එමෙන්ම දස දින පාඨමාලාවක් සම්පූර්ණ කිරීමට පවා නොහැකි වීමට ඉඩ තිබේ. වෘත්තීය නොවන ස්වේච්ඡා සංවිධානයක් හැටියට  මෙබඳු පසුබිමක් ඇති පුද්ගලයන් පිළිබඳව නිසි අයුරු කටයුතු කිරීමට අපට හැකියාවක් නැත. බොහෝ දෙනෙකුට විපස්සනා භාවනාව ඵලදායි වුවත් එය වෛද්‍යමය හෝ මානසික ප්‍රතිකාර සඳහා විකල්පයක් නොවේ. එම නිසා බැරෑරුම් මානසික රෝගවලින් පෙළෙන්නන්හට අපි විපස්සනා භාවනාව නිර්දේශ නොකරමු.

නීති පද්ධතිය:

  • පුහුණු වීමේ පදනම සීලයයි.
  • සමාධිය හෙවත් සිතේ ඒකාග්රතාවය වැඞීමේ පදනම සීලය මගින් සැලසෙයි.
  • චිත්ත පාරිශුද්ධිය ඇතිකර ගන්නේ ප්රඥාවෙනි, එනම් විපස්සනා ඤාණයෙනි.

ශික්ෂාපද:

පහත සඳහන් ශික්ෂා පද හෘදයසාක්ෂියට අනුව දැඩි ලෙස ආරක්ෂා කිරීමට පොරොන්දු විය යුතු වේ.

1. ප්‍රාණඝාතයෙන් වැළකීම

2. සොරකම් කිරීමෙන් වැළකීම

3. සියලු ලිංගික සම්බන්ධතා වලින් වැළකීම

4. බොරු කීමෙන් වැළකීම

5. මත්ද්‍රව්‍ය, මත්කුඩු ආදිය භාවිතයෙන් වැළකීම

පෙර ඵුණු වූ සිසුන් ( එස්. එන්. ගොඑන්කා තුමා හෝ එතුමාගේ සහායක ගුරුවරයෙකු යටතේ භාවනා පාඨමාලා පුහුණු වී ඇති අය)  විසින් පාඨමාලා කාලය තුළදී තවත් ශික්ෂා පද තුනක් ආරක්ෂා කිරීම අපේක්ෂා කෙරේ.

6. මධ්‍යාහ්න 12 න් පසු ආහාර ගැනීමෙන් වැළකීම.

7. ශරීරය සැරසීම් හා නැටුම්, ගැයුම්, වැයුම්වල යෙදීම වැනි ඉන්ද්රියයන් පිනවීම් වලින් වැළකීම.

 8. සුඛෝපභෝගී  හා උස් අසුන් භාවිතයෙන් වැළකීම.

පෙර ඵුණු වූ සිසුන් ප.ව. 5.00 ට කහට තේ කෝප්පයක් හෝ පළතුරු යුෂ වීදුරුවක් පානය කිරීමෙන් 6 වන ශික්ෂාපදය ආරක්ෂා කළ යුතු වෙයි. . නවක සිසුනට කිරි හෝ තේ හෝ පළතුරු යමක් ලබාගැනීමට අවසර තිබේ. කිසියම් පෙර ඵුණු වූ සිසුවෙකුට සෞඛ්ය හේතූන් මත 6 ශික්ෂා පදය අනුගමනය කිරීමෙන් වැළකී සිටීමට අවSH‍ය නම් ගුරුවරයාගෙන් අවසර ලබා ගත හැක.

ගුරුවරයා සහ භාවනා ක්‍රමය පිළිගැනීම :

සියලූම යෝගාවචරයන් විසින් මෙම දින 10 තුළ ගුරුවරයාට, විපස්සනා භාවනා ක්රමයට මෙන්ම නීති රීති පද්ධතියට හා කාල සටහනට පූර්ණ එකඟතාවයෙන් වැඩ කිරීමට සිදුවේ. එනම්, විනය නීති මාලාව පිළිපදිමින්, ගුරුවරයා විසින් දෙනු ලබන උපදෙස් කිසිවක් නොසළකා හරින්නේ නැතිව, කිසිවක් අලුතින් එකතු නොකර,  ඔහු දෙනු ලබන උපදෙස්වලට අනුවම පිළිපදිමින් කාල සටහනෙහි ආකාරයට ක්‍රියා කළ යුතු වේ. මෙම එකඟතාවය, අන්ධානුකරණයෙන් නොව, විමංසන බුද්ධියෙන් සහ අවබෝධයෙන් කළ යුතු වේ. සිසුවෙකුට පූර්ණ ලෙස උනන්දුවෙන් ක්රියා කළ හැකි වන්නේ විශ්වාසය මත පමණි. ශිෂ්‍යයා විසින් ගුරුවරයා හා භාවනා ක්රමය මත මෙවැනි විශ්වාසයක් තිබීම නිවැරදි මඟ පෙන්වීම හා ආරක්ෂාව සඳහා අත්යවශ්ය වේ.

ආගමික සිරිත් විරිත් හා වෙනත් භාවනා ක්රම :

මෙම පාඨමාලාව හදාරන සීමිත කාලය තුළ ආගමික පුද පූජා ලෙස සලකනු ලබන සුවඳ දුම් ඇල්ලීම, පහන් දැල්වීම, පබලු හා ඇට වර්ග (නවගුණ වැල් ගණන් කිරීම, මන්ත්‍ර ජප කිරීම, නැටුම් ගැයුම් පැවැත්වීම, සම්පූර්ණයෙන් නිරාහාරව උපවාසයෙහි යෙදීම, යාඥා කිරීම ආදියෙන් මුලුමනින්ම වැළකී සිටීම අවශ්ය වේ. අනෙකුත් භාවනා ක්රම වලට නිගරු නොකරමින් ඒවාද තාවකාලිකව නතර කිරීමට සිදුවේ. මේ සියල්ල මෙසේ ක්‍රියාත්මක කරවීමෙන් බලාපොරොත්තු වන්නේ ශිෂ්‍යයාට මෙම විපස්සනා භාවනා ක්රමය පිළිබඳව පූර්ණ පාරිශුද්ධත්වයෙන් යුතුව සාධාරණ අත්හදා බැලීමක් කිරීමට අවස්ථාවක් සලසා දීමය.

විපස්සනා භාවනාව සමඟ වෙනත් භාවනා ක්‍රමයක් හිතාමතා මිශ්‍ර කිරීමෙන් තම ප්‍රගතියට බාධා පැමිණෙනවා පමණක් නොව පසුබෑමකටද ලක් විය හැකි බව සිසුන්ට දැඩි ලෙස අවවාද කෙරෙයි. පෙර පාඨමාලා වලදී ගුරුවරයා නැවත නැවතත් අවවාද කිරීමෙන් පසුවත්, සමහර ශිශ්‍යයින් විසින් මෙම විපස්සනා ක්රමයට වෙනත් ආගමික සිරිත් විරිත් හා වෙනත් පුහුණුවීම් ක්‍රම ඈඳා ගැනීමෙන් කරදර වලට මුහුණ පා ඇත. මෙම ක්‍රමය පුහුණුවීමට බැඳුණු ශිෂ්‍යයන් ගුරුවරයාගේ උපදෙස් අකුරටම පිළිපැදිය යුතු අතර, වෙනත් බාහිර දේ භාවනාවට එකතු කර නොගත යුතුයි. තමාට පැන නගින සැක සහිත තැන් හා නොපැහැදිලි දේ ගුරුවරයා හමුවී විසඳා ගත හැක.

ගුරුවරයා හමුවීම:

තමාට පැන නගින ගැටළු හා නොපැහැදිලි තැන් විසඳා ගැනීමට මධ්‍යාහ්න 12 සිට ප.ව. 1.00 දක්වා ගුරුවරයා පුද්ගලිකව හමුවීමට සිසුන්ට පුළුවන. ප.ව. 9.00 සිට ප.ව. 9.30 දක්වා කාලය තුළ භාවනා ශාලාවේ දී පොදුවේ ප්රශ්න විචාරීමට ඉඩකඩ ඇත. මෙම භාවනා ක්‍රමය පුහුණුවීමේදී පැන නගින ප්‍රශ්න නිරාකරණය කර ගැනීමටත් දේශනාවෙන් පැන නගින ප්‍රශ්න විසඳා ගැනීමට පමණක් ප්‍රශ්න ඇසීමේ කාලය යොදා ගත යුතුය.

ආර්ය නිශ්ශබ්දතාවය :

භාවනා පාඨමාලාව පටන් ගත් දින සිට දසවැනි දිනයේ පෙ.ව. 10.00 පමණ වන තෙක් ශිෂ්යයන් විසින් උතුම් නිශ්ශබ්දතාවය රැකිය යුතුවේ. උතුම් නිශ්ශබ්දතාවය යනු ශරීරය, වචනය, හා මනස නිශ්ශබ්ද කරගැනීමයි. අභිනය මගින් හෝ කුඩා තුණ්ඩු කැබලි ආදී මාර්ග වලින් හෝ වෙනත් මොනම ක්‍රමයකින් හෝ අදහස් හුවමාරු කිරීමේ මාර්ග භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.

එහෙත් අවශ්‍ය අවස්ථාවකදී ගුරුවරයා සමඟ කතා කළ හැක. නවාතැන් පහසුකම් ආහාරපාන ආදී දේ පිළිබඳ ප්‍රශ්නයක් ඔබට ඇත්නම් ඒ පිළිබඳ ව පාලක මණ්ඩලයට දැනුම් දීමට ඔබට අවසර ඇතත් ඒවාද සීමිත විය යුතුය. තමන් හුදකලාව භාවනා කරනවා යන හැඟීම සිසුන් තුළ රෝපණය කර ගත යුතුයි.

ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය වෙන් වෙන්ව සිටීම :

ස්ත්රී පුරුෂ දෙපාර්ශවය මුලූමනින්ම වෙන්ව සිටිය යුතු වේ. විවාහක හෝ වෙනත් ආකාරයේ යුවලක් පාඨමාලා කාලය තුළදී ඔහුනොවුන් හා කිසිම ආකාරයක සම්බන්ධතා නොපැවැත්විය යුතුයි. හිත මිතුරන් හා එකම පවුලේ සාමාජික සාමාජිකාවන්ද මේ ආකාරයෙන්ම පිළිපැදිය යුතු වේ.

කායික ස්පර්ශය :

භාවනා මධ්‍යස්ථානයේ රැුඳී සිටින කාලය තුළදී අනිකුත් අය සමඟ සියලු ආකාරයේ කායික ස්පර්ශයෙන් වැළකී සිටීම ඉතා වැදගත් වේ.

යෝග හා ශාරීරික ව්‍යායාම :

මෙම මධ්‍යස්ථානයේ ඉඩකඩ සහ පහසුකම් සීමිත හෙයින් ශාරීරික ව්‍යායාම හා යෝග ක්රම විපස්සනා හා සැසඳුණත් ඒ සියල්ල මේ කාල පරිච්ඡේදයේ දී තාවකාලිකව නතර කිරීමට සිදුවේ. දිවීම සඳහා ද අවසර නැත. විවේක කාලවලදී වෙන්කොට ඇති කොටස් වල ඇවිදීමෙන් ශරීරයට ව්‍යායාමයක්ලබා දිය හැකිය.

ආගමික සංකේත, යන්ත්‍ර, කොන්ත, නවගුණවැල්,  ජප නූල් ආදී දේ :

මෙවැනි දේ මධ්‍යස්ථානයට රැගෙන නො ආයුතුයි. යම්කිසි හෙයකින් මෙබඳු දෙයක් ඔබ ළඟ ඇත්නම් පාලක මණ්ඩලයට භාර දී පාඨමාලාව අවසන් වූ පසු නැවත ලබා ගන්න.

මත්ද්රව්‍ය හා මත්කුඩු :

මත්ද්රව්‍ය, මත්කුඩු, මරිජුවානා ආදී කිසිවක් මෙම මද්‍යස්ථානයට ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් කොට ඇත. ප්රශාන්තිජනක ඖෂධ සහ නිදි බෙහෙත් ආදී සියලුම නිර්වින්දක වර්ග මෙයට අඩංගු වේ. වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ආදිය පාවිච්චි කරන අය ගුරුවරයාට ඒ බව දැන්විය යුතුයි.

දුම්කොළ:

සියලු සිසුන්ගේ සෞඛ්යය සහ සුව පහසුව සළකා මධ්‍යස්ථානය තුළ දුම්බීම, බුලත්විට හැපීම, සහ දුම්කුඩු ඉරීමට ද අවසර නැත.

ආහාර :

සියලු භාවනා යෝගීන්ට අවශ්‍ය පරිදි විශේෂ ආහාරපාන සැපයිය නොහැක. මෙහි සපයනු ලබන සරල නිර්මාංශ ආහාර වලින් සෑහීමට පත් වන ලෙස සියලූම ශිෂ්‍යයින්ගෙන්  කාරුණිකව ඉල්ලූම් කෙරේ. භාවනාවට යෝග්‍ය සමබර පෝෂ්‍යදායි ආහාර සැපයීමට කළමණාකාරිත්වය උත්සාහ දරණු ඇත. යම්කිසි ශිෂ්‍යයෙකුට සෞඛ්‍ය හේතූන් මත යම් විශේෂ ආහාරයක් ගැනීමට උපදෙස් දී තිබේ නම් ලියාපදිංචි කරන අවස්ථාවේ දී පාලක මණ්ඩලයට දැනුම් දෙන්න. උපවාසයේ යෙදීමට අවසර නැත. ඔබගේ පුද්ගලික භාවිතය සඳහා කිසිම ආහාර වර්ගයක් රැගෙන නොඑන්න. ඒවා ළඟ තබාගැනීමට අවසර නැත.

ඇඳුම් :

භාවනාවට ගැළපෙන පරිදි විනීත හා සදාචාරාත්මක ලෙස සුව පහසු ඇඳුම් ඇඳිය යුතු වේ. තද, විනිවිද පෙනෙන, අනාවරණය කෙරෙන, කොට කලිසම් හා අත් නැති ඇඳුම් ඇඳීමෙන් වළකින්න. හිරු රැස් තැපීම ද අඩ නිරුවත ද අනුමත නොකෙරේ. අනික් යෝගීන්ගේ අවධානය බිඳීම අවම කිරීම සඳහා මේවා පිළිපැදීම වැදගත් වේ.

රෙදි සේදීම සහ ස්නානය කිරීම:

රෙදි සේදීමේ වියලීමේ යන්ත්‍ර නොමැති නිසා තමන්ට අවශ්ය ප්රමාණයකට සෑහෙන ඇඳුම් රැගෙන එන්න. කුඩා ඇඳුම් අතින් සේදිය හැක. ස්නානය කිරීම සහ රෙදි සේදීම කළ හැක්කේ භාවනාව සඳහා වෙන් කර ඇති වේලාවලදී නොව විවේක කාල වලදීය .

බාහිර සම්බන්ධතාවය :

සම්පූර්ණ පාඨමාලා කාලය තුළදී පාඨමාලා භූමියෙහිම ර්‍අඳී සිටීමට සිසුන්ට සිදුවේ. ගුරුවරයාගේ විශේෂ අවසරයක් මත පමණක් ඔබට බැහැරව යා හැක. පාඨමාලාව අවසන් වන තෙක් බාහිර සම්බන්ධතා පැවැත්වීමට අවසර නැත. දුරකතන භාවිතය, ලියුම් ගණුදෙනු කිරීම සහ අමුත්තන් හමුවීම ද තාවකාලිකව අත් හිටුවන්නට ඔබට සිදුවේ. ජංගම දුරකතන, කෙටි පණිවුඩ යවන පේජර, සහ අනිකුත් විඉුත් උපකරණ සියල්ලක්ම පාඨමාලාව අවසන් වන තෙක් කළමනාකරණයට භාර දිය යුතුයි. හදිසි අවස්ථාවකදී හිතවතෙකුට හෝ ඥාතියෙකුට කළමනාකාරිත්වය හමුවිය හැක.

 කියවීම, ලිවීම සහ සංගීතය:

සංගීත භාණ්ඩ වාදනය කිරීම, ගුවන් විදුලියට සවන් දීම ආදියට අවසර නැත. පොත් පත් හෝ ලිවීමේ උපකරණ භාවනා මධ්‍යස්ථානයට රැගෙන නො ආයුතුයි. භාවනා අරමුණෙන් අවධානය පිටතට යන නිසා සටහන් ලියා නොගත යුතුයි. ලිවීම සහ කියවීම තහනම් කර ඇත්තේ මෙම භාවනා ක්‍රමයේ ප්රායෝගික අංශයට දැඩි අවධාරණය දීම පිණිසයි.

ටේප් රෙකෝඩර ,කැමරා සහ පරිගණක:

 ගුරුවරයාගේ විශේෂ අවසරයක් නොමැතිව මේවා පාවිච්චි කළ නොහැක.

නවාතැන් පහසුකම් හා ගාස්තු :

පිරිසිදු විපස්සනා සම්ප්රදායට අනුව  පාඨමාලා පවත්වනු ලබන්නේ හුදෙක් පරිත්‍යාග පදනම මතය. පරිත්‍යාග භාරගනු  ලබන්නේ එස්. එන්. ගොඑන්කා තුමා හෝ එතුමාගේ සහායක ගුරුවරයෙකු යටතේ අවම වශයෙන් එක් දස දින පාඨමාලාවක්වත් සම්පූර්ණ කර ඇති අයගෙන් පමණි. පළමුවතාවට පාඨමාලාවකට සහභාගි වන යෝගීන්ට ද පාඨමාලාව අවසන් කිරීමෙන් පසුව හෝ ඊට පසු වෙනත් අවස්ථාවකදී පරිත්‍යාගයක් කිරීමට අවස්ථාව තිබේ.

මේ අනුව පාඨමාලා පවත්වා ගෙන යාම සඳහා සහාය වන්නේ භාවනාවෙන් ලැබෙන ප්‍රයෝජන ප්රායෝගිකව තමන් විසින්ම  වටහා ගත් යෝගීන්ය. තමන් විසින් ලබා ගත් ඵල ප්‍රයෝජන අනිකුත් අයත් සමඟ බෙදා ගැනීමේ කැමැත්ත නිසා ඔවුහු තමන්ට හැකි අන්දමින් පිරිසිදු  චේතනාවෙන් පරිත්‍යාග කරති. මෙම සම්ප්රදායට අනුව ලොව පුරා පාඨමාලා පවත්වනු ලබන්නේ මේ අන්දමින් ලැබෙන ආධාරවලින් පමණි. මේ සඳහා අනුග්‍රහය දක්වන ධනවත් ආයතන හෝ පුද්ගලයන් නොමැත. ගුරුවරුන් හෝ සංවිධායකයන් ඒ අයගේ සේවය සඳහා කිසිදු වේතනයක් නොලබති. මෙපරිද්දෙන් විපස්සනා ප්‍රචාරක කටයුතුද සිදු කරනු ලබන්නේ වාණිජකරණයෙන් තොරව පිරිසිදු අදහසිනි.

කිසියම් පරිත්යාගයක් සුළු හෝ මහත් වේවා, එය කළ යුත්තේ අනික් අයට උදව් කිරීමේ අදහසිනි - ” ඇත්ත වශයෙන්ම මා හිඳගත් පාඨමාලාව පවත්වා ගෙන් යාම සඳහා ආධාර කර ඇත්තේ මීට පෙර සහභාගි වූ සිසුන්ගේ පරිත්‍යාග වලිනි; අනාගතයේදී පැවැත්වීමට බලාපොරොත්තු වන පාඨමාලාවක් සඳහා මම දැන් පරිත්‍යාගයක් කරමි. එමගින් තවත් බොහෝ දෙනෙකුටත් මේ භාවනා ක්‍රමයෙන් ප්රයෝජන ලැබේවා."

සාරාංශය:

විනය නීති මාලාවේ හරය පැහැදිලි කර දීම සඳහා පහත දැක්වෙන ආකාරයට කෙටි කර දැක්විය හැක:

ඔබේ හැසිරීම් මගින් තවත් කෙනෙකුට කරදරයක්  නොවීමට ඉතා සැලකිලිමත් වන්න. එමෙන්ම අනික් අයගෙන් වන බාධාවන් ගැන සැලකිලිමත් නොවන්න.

ඉහත සඳහන් නීති එකක් හෝ කීපයක් පණවා තිබීමේ   ප්‍රායෝගික හේතූන් වටහා ගැනිමට කිසියම් සිසුවෙකුට නොහැකි විය හැකියි. ඒ සම්බන්ධයෙන් ඍණාත්මක හැඟීම් හෝ සැකයන් වර්ධනය වීමට ඉඩ නොදී වහාම ගුරුවරයා හමු වී ඒවා පැහැදිලි කරවා ගන්න.

පුහුණුවීම තේරුම් ගත හැකි වන්නේත් එයින් ප්‍රයෝජන ලැබිය හැකි වන්නේත් දැඩි සංයමයකින් ඉතා වීර්යවන්තව ක්රියා කිරීමෙන් පමණි, පාඨමාලාවේ දී වැඩි අවධානය යොමු කරවන්නේ භාවනාවටයි.  (ස්වර්ණමය රීතිය වන්නේ කවර අපහසුතා ඇතිවුවත්, කවර බාධා වලට මුහුණපෑමට සිදුවුවත් තමන් හුදකලාව සිටින අයුරින්, මනස තම අභ්‍යන්තරයට යොමු කර ගෙන භාවනාවේ යෙදීමයි. )

අවසාන වශයෙන් විපස්සනා භාවනාවේ ප්‍රගතිය රඳා පවතින්නේ කෙනෙකුගේ යහපත් ගුණාංගයන් සහ පුද්ගලික වර්ධනය හා පස් වැදෑරුම් ශක්තීන් වන අප්‍රතිහත ධෛර්යය, විශ්වාසය, අවංක භාවය, සෞඛ්‍යය හා ප්‍රඥාව මත බව සිහි තබාගන්න.

ඉහත සඳහන් තොරතුරු ඔබගේ භාවනා පාඨමාලාවෙන් ඔබට උපරිම ඵලප්‍රයෝජන ලබා ගනීමට සහාය වනු ඇත. ඔබට සේවය කිරීමට අපට අවස්ථාව ලැබීම ගැන අපි සතුටු වෙමු. ඔබගේ විපස්සනා අත්දැකීම තුළින් ඔබට සතුට හා සැනසිල්ල උදාවේවා‘යි අපි ප්‍රාර්ථනා කරමු.

කාල සටහන :
මෙම කාල සටහන සකස් කොට ඇත්තේ භාවනාව නොකඩවා ප්රගුණ කිරීමටය.
සාර්ථක ප්රතිඵල ලබාගැනීම සඳහා මෙය තමාට හැකි පමණ හොඳින් අනුගමනය කරන ලෙස ශිෂ්යයින්ට අවවාද කෙරේ.
  • පෙ.ව. 04.00 අවදි වීම
  • පෙ.ව. 04.30 -06.30 භාවනාකිරීම (භාවනා ශාලාවේදී  හෝ කුටි වලදී)
  • පෙ.ව. 06.30 -08.00 උදේ     ආහාරය
  • පෙ.ව. 08.00 -09.00 සාමූහික භාවනා (භාවනා ශාලාවේදී*
  • පෙ.ව. 09.00 -11.00 භාවනා (ගුරුවරයාගේ උපදෙස් පරිදි ශාලාවේදී හෝ කුටි වලදී*
  • පෙ.ව. 11.00 -12.00 දිවා ආහාරය
  •  
  • පෙ.ව. 12.00 -ප.ව.01.00 විවේකය
  •  
  • ප.ව. 01.00 -02.30 භාවනා කිරීම   (ශාලාවේදී හෝ කුටි වලදී*
  • ප.ව. 02.30 -03.30 සාමූහික භාවනා (භාවනා ශාලාවේදී*
  • ප.ව. 03.30 -05.00 භාවනා කිරීම (ගුරුවරයාගේ උපදෙස් පරිදි ශාලාවේදී හෝ කුටි වලදී*
  • ප.ව. 05.00-06.00 තේ පානය
  • ප.ව. 06.00-07.00 සාමූහික භාවනා (භාවනා ශාලාවේදී*
  • ප.ව. 07.00-08.30 ගුරුතුමාගේ දේශනය (භාවනා ශාලාවේදී*
  • ප.ව. 08.30-09.00 සාමූහික භාවනා (භාවනා ශාලාවේදී*
  • ප.ව. 09.00-0ප.ව. 9.30 ප්රශ්න විචාරීම (භාවනා ශාලාවේදී*
  • ප.ව. 09.30 - විදුලි පහන් නිවීම - නින්දට යෑම.

Friday, August 22, 2014

විපස්සනා ආචාර්ය පරපුර



බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිට 
පරපුරෙන් පරපුරට 
මෙම අගනා ධම්ම රත්නය 
ඉතා පිවිතුරු ආකාරයෙන් රැකගෙන ආ  
ආචාර්ය පරම්පරාවට 
ගොඑන්කාජීගේ සහ එතුමාගේ සහායක ගුරුවරුන්ගේ 
සහ විපස්සනා සිසුන්ගේ කෘතවේදිත්වය හිමි වේ. 
මෙම පිවිතුරු විපස්සනා භාවනා ක‍්‍රමය 
ශතවර්ෂ ගණනාවක් තිස්සේ රැකගෙන ආ 
භික්ෂු ආචාර්යයන් වහන්සේලාගේ නම් 
අප නොදන්නා නමුත් 
මෙම ශ්‍රේෂ්ඨ සම්ප‍්‍රදායයේ 
මෑත යුගයේ ගිහි ධර්මාචාර්යවරුන් සහ 
ඔවුන්ට ඉගැන්වීම සඳහා බලය පැවරූ 
ගුරුවරයෙකු මෙන්ම විද්වතෙකු ද වන 
භික්ෂූන් වහන්සේ නමක් ගැන අපි දනිමු.
ආචාර්ය පරපුර

ලේඩි සයාඩෝ

 
සයා තේජී


සයාජී ඌ බා ඛින් (1899-1971)
පහත පළවන ලිපිය විපස්සනා පර්යේෂණ ආයතනය මගින් පළ කරන ලද
ඌ බා ඛිං සඟරාවෙන් උපුටා ගෙන සකස් කරන ලද්දකි.

සයාජී ඌ බා ඛින් බුරුම දේශයේ රැංගුන් නුවරදී 1899 මාර්තු මස 6 වැනි දින උපත ලැබීය. ඔහු කම්කරු ජනයා වාසය කරන දිස්ත‍්‍රික්කයක දරුවන් දෙදෙනෙකුගෙන් යුත් සාමාන්‍ය පවුලක දෙවැන්නා විය. ඔහු හොඳ මතක ශක්තියක් ඇති දක්ෂ ශිෂ්‍යයෙක් විය. ඉංග‍්‍රීසි ව්‍යාකරණ පොත මුල සිට අග දක්වා ඔහු කට පාඩම් කරගෙන තිබුණි. 1917 ඔහු උසස් පෙළ අවසන් පරීක්ෂණයෙන් සමත් වූයේ රන් පදක්කමක් සහ විශ්ව විද්‍යාලීය ශිෂ්‍යත්වයක් ද දිනා ගනිමිනි. එනමුත් පවුලේ බලපෑම නිසා ඔහු අධ්‍යාපනය අතරමග නවතා දමා මුදල් ඉපයීමට පටන් ගත්තේය. ඔහුගේ පළමු රැකියාව වූයේ සන් නමැති බුරුම පුවත් පත් සේවයයි. නමුත් ටික කලකට පසුව බුරුම රජයේ ගණකාධිකාරි ජෙනරාල් කාර්යාලයේ ගිණුම් අංශයේ ලිපිකරුවෙකු ලෙස සේවය කරන්නට ලැබුණි. 1937 දී බුරුමය, ඉන්දියාවෙන් වෙන් කළ අවස්ථාවේ දී, ඔහුව ප‍්‍රථම විශේෂ කාර්යාල පරීක්ෂක ලෙස පත් කරන ලදී.

සයාජී භාවනා කිරීම සඳහා පළමු වතාවට උත්සාහයක් දැරුවේ 1937 ජනවාරි 1 වැනිදාය. ධනවත් ගොවියෙකු මෙන්ම භාවනා ගුරුවරයෙකු ද වූ සයා තේජී ගේ ශිෂ්‍යයෙක් ඌ බා ඛිං හමු වීමට පැමිණි අවස්ථාවක දී ආනාපාන සති භාවනාව එතුමාට විස්තර කර දුන්නේය. එය වැඩීමට පටන් ගත් අවස්ථාවේදී සිතේ ඒකාග‍්‍රතාවය ඇති වූ නිසා එතුමාට ඒ පිළිබඳව ලොකු ප‍්‍රසාදයක් ඇති වී සම්පූර්ණ පාඨමාලාවක් කිරීමට තීරණය කළේය.  සතියකට පසුව දින දහයක් සඳහා නිවාඩුවක් ඉල්ලූම් කළ එතුමා සයා තේජීගේ භාවනා මධ්‍යස්ථානය බලා පිටත් විය. එදින රාත‍්‍රියේදීම ඌ බා ඛිං සහ ලේඩි සයාඩෝ නාහිමිපාණන්ගේ  බුරුම ජාතික ශිෂ්‍යයෙක් සයාතේ ජී තුමාගෙන්් ආනාපාන උපදෙස් ලැබූහ. මේ සිසුන් දෙදෙනා ඉතා ඉක්මනින් ප‍්‍රගතියක් ලැබූ නිසා පසු දිනම විපස්සනා උපදෙස් ද ලැබූහ. මෙම පළමු දස දින පාඨමාලාවේ දී සයා ජී විශාල ප‍්‍රගතියක් ලැඇබුවේය. විටින් විට තම ගුරුතුමාගේ මධ්‍යස්ථානයට පැමිණ දිගටම භාවනා  කිරීමෙන් ද, සයාතේ ජී තුමා රැන්ගුන් නුවරට පැමිණි සෑම අවස්ථාවලදී එතුමා හමුවී සාකච්ඡුා කිරීමෙන් ද තම භාවනාව දිගටම පවත්වා ගෙන ගියේය.

සයාජී ගේ රාජ්‍ය සේවය තවත් වසර 26 ක් දක්වා පැවතුණි. බුරුමයට නිදහස ලැබූ දින එනම් 1948 ජනවාරි 4 වැනිදා එතුමා ගණකාධිකාරි ජෙනරාල්වරයා ලෙස පත් විය. ඊළඟ දශක දෙක තුළදී එතුමා විවිධාකාර මට්ටමින් රාජ්‍ය සේවයේ යෙදුනි. බොහෝ අවස්ථාවලදී තනතුරු දෙකක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් දරන්නට සිදු විය. ඒ සෑම තනතුරක්ම දෙපාර්තමේන්තු ප‍්‍රධානියා හා සමාන විය. එක් අවස්ථාවකදී තුන් වසරක් දක්වා දෙපාර්තමේන්තු තුනක ප‍්‍රධානියා ලෙස සේවය කළේය. තවත් එක් අවස්ථාවකදී වසරක පමණ කාලයක් දක්වා දෙපාර්තමේන්තු හතරක ප‍්‍රධානියා ලෙස කටයුතු කළේය. 1956 වසරේදී එතුමාව කෘෂිකාර්මික අලෙවි මණ්ඩලයේ සභාපති පදිවියට පත් කළ අවස්ථාවේදී බුරුම රජය විසින් එරට උසස්ම සම්මානය වන ත්‍රේ සීතු නම්බු නාමය පිරිනමන ලදී. සයාජී ගේ ජීවිතයේ අවසන් සිවු වසර පමණක් හුදෙක් විපස්සනා භාවනාව ඉගැන්වීම සඳහා ගත විය. සෙසු කාලය භාවනාව පිළිබඳ තම හැකියාවන් හා රාජ්‍ය සේවය වෙනුවෙන් තිබූ තම කැපවීම  සම්බන්ධ කර ගෙන කටයුතු කළේය.

ගිහියන්ට, විශේෂයෙන් කාර්ය මණ්ඩලයට භාවනාව ඉගෙනීම සඳහා එතුමා විසින් 1950 දී ගණකාධිකාරි ජෙනරාල් කාර්යාලයේ විපස්සනා සංගමය පිහිටුවනු ලැබීය. 1952 දී ?න්ගුන් නුවර සුප‍්‍රසිද්ධ ස්වේදගොන් චෛත්‍යයෙන් සැතපුම් දෙකක් උතුරට වෙන්න ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය විවෘත කරන ලදී. මෙහිදී සයාජීගෙන් ධම්ම උපදෙස් ලබා ගැනීමට බුරුම මෙන්ම විදේශික සිසුන් බොහෝ දෙනෙකුට වාසනාව උදාවිය.

1954-56 වසරවලදී බුරුමයේ රැන්ගුන් නුවර පවත්වන ලද සය වන සංගායනාව සැළසුම් කිරීමේ දී සයාජී විශාල කාර්යභාරයක් දැරීය.1950 දී සයාජී සංවිධාන දෙකක ආරම්භක සාමාජිකයෙක් විය. පසුව මෙම සංවිධාන දෙක බුරුම සමූහාණ්ඩුවේ බුද්ධ ශාසන මණ්ඩලය යනුවෙන් එක් සංවිධානයක් බවට පත් විය. සය වන සංගායනාවේ ප‍්‍රධාන සැළසුම් කරු වූවේ මෙම මණ්ඩලයයි. ඌ බා ඛිං තුමා බුද්ධ ශාසන මණ්ඩලයේ විධායක සාමාජිකයෙකු විය. එතුමා පටිපත්ති කමිටුවේ සභාපති වූ අතර බුද්ධ ශාසන මණ්ඩලයේ ගරු ගිණුම් පරීක්ෂක ද විය. පරිපාලන ගොඩනැගිලි, නේවාසික ගොඩනැගිලි, මුලූතැන් ගෙයක් සහ භෝජනාගාරයක් රෝහලක් පුස්තකාලයක් කෞතුකාගාරයක් සහ ලැගුම්හල් හතරක් ඇතුලත් අක්කර 170 ක පමණ භූමි භාගයක ගොඩනැගිලි ඉදිකිරීමේ වැඩ සටහනක් තිබුණි. මෙම ව්‍යාපාරයේ ප‍්‍රධාන අරමුණ වූයේ මහා පාෂාණ ගුහාවයි. ත‍්‍රිපිටකය සජඣායනා කිරීමට සහ එය සංශෝධනය කර ප‍්‍රකාශණය කිරීම සඳහා බුරුම, ශ‍්‍රී ලංකා, තායිලන්ත, ඉන්දියා, කාම්බෝජ, සහ ලා ඕස් රටවලින් පැමිණි පන් දහසක් පමණ භික්ෂූන් වහන්සේලා රැුස්වූයේ මෙම ගල් ගුහාවේ පිහිටි විශාල ශාලාව තුළය. භික්ෂූන් වහන්සේලා කණ්ඩායම් වශයෙන් ර්‍අස්වී බුරුම ශ‍්‍රී ලංකා තායි සහ කාම්බෝජ ත‍්‍රීපිටක සංස්කරණයන් සහ ලන්ඩන් නුවර පාලි ත‍්‍රිපිටක සංගමය මගින් රෝම අකුරින් ප‍්‍රකාශිත සංස්කරණය සංසන්දනය කරමින් මුද්‍රණය සඳහා සූදානම් කළහ. සංශෝධනය කර සම්මත කර ගත් ග‍්‍රන්ථ මහා ගුහාව තුළදී සජ්ඣායනා කරන ලදී. ගිහි ස්ත‍්‍රී පුරුෂයින් දස දහසකටත් පසළොස් දහසකටත් අතර ප‍්‍රමාණයක්  භික්ෂූන් වහන්සේලාගේ මෙම සජ්ඣායනයට සවන් දීමට පැමිණියහ. 1967 දක්වා සයාජී බුද්ධ ශාසන මණ්ඩලයේ විවිධ තනතුරු දරමින් ක‍්‍රීයාකාරිකයකු ලෙස  කටයුතු කළේය.
මේ අයුරින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප‍්‍රචාරය කිරීමට එතුමාගේ වගකීම් සහ හැකියාවන් ගිහියෙකු ලෙසත් රාජ්‍ය නිලධාරියෙකු ලෙසත් උපයෝගී විය. ප‍්‍රධාන මහජන සේවයට අමතරව එතුමා තම මධ්‍යස්ථානයෙහි දී භාවනා ඉගැන්වීම ද කරගෙන ගියේය. 1967 දී එතුමා අවසාන වශයෙන් තම විශිෂ්ඨ රාජ්‍ය සේවයෙන් විශ‍්‍රාම ගත්තේය. එතැන් සිට එතුමා 1971 ජනවාරි මාසයේ දී අභාවප‍්‍රාප්ත වන තෙක්ම විපස්සනා භාවනා උගන්වමින් ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ වාසය කළේය.

රාජ්‍ය සේවය සඳහා එතුමාගෙන් ඉටුවීමට රාජකාරිවල තිබූ දැඩි අවශ්‍යතාවය නිසා සයාජීට හැකි වූයේ සිසුන් ඉතා ස්වල්ප පිරිසකට ඉගැන්වීමට පමණි. එතුමාගේ බුරුම සිසුන් බොහෝ දෙනෙක් රාජ්‍ය සේවයට සම්බන්ධ අය වූහ.

 
 එස්. එන්. ගොඑන්කා තුමා

ඉන්දීය සිසුන් බොහෝ දෙනෙකු විපස්සනා සඳහා යොමු කරනු ලැබුවේ ගොඑන්කාතුමා විසිනි. ඉංගී‍්‍රසි භාෂාව පිළිබඳ මනා දැනුමක් තිබූ විපස්සනා ගුරුවරුන් එවකට නොසිටි නිසා සය වන සංගායනාවට සහභාගි වීමට පැමිණි සමහරු සිසුහු විපස්සනා උපදෙස් ලබා ගැනීම සඳහා සයාජී වෙත යොමු කරනු ලැබූහ. ඌ බා ඛිං තුමාගේ විදේශීය සිසුන් සුළු පිරිසක් වුවද විවිධ කොටස්වලට අයත් වූහ. ඔවුන් අතර රැන්ගුන් නුවර විදේශිය තානාපති සේවයට අයත් අයද, ප‍්‍රධාන පෙළේ බටහිර බෞද්ධයන් ද, විද්වතුන් ද සිටියහ. බුරුමයේ සිටි විදේශිකයන් සඳහා බුද්ධ ධර්මය පිළිබඳව දේශනා පැවැත්වීම සඳහා විටින් විට සයාජීට ආරාධනා ලැබුණි. මෙම දේශනා කුඩා පොත් ලෙස ප‍්‍රකාශයට පත් කරන ලදී. ඒවා අතර බුද්ධාගම යනු කුමක් ද? සහ නිවැරදි බෞද්ධ භාවනා ක‍්‍රමයේ නියම වටිනා කම යන ග‍්‍රන්ථ වේ.

තම ගුරුවරයාගේ අභාවප‍්‍රාප්ත වීමේ ප‍්‍රවෘත්තිය ලැබෙන විට ගොඑන්කා තුමා ඉන්දියාවේ භාවනා වැඩ සටහනක් පවත්වමින් සිටියේය. එතුමා පහත සඳහන් පාලි ගාථාව සඳහන් කර බුරුමයේ  ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය වෙත විදුලි පුවතක් යැව්වේය.

අනිච්චා වත සංඛාරා
උප්පාද වය ධම්මිනො
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති
තේසං වූපසමො සුඛො

සියලූ සංස්කාරයෝ අනිත්‍යයහ,
ඇති වී නැති වී යන්නාහ,
ඒවා ඇති වී නිරුද්ධ වේ නම්
ඒ නිරුද්ධ වීමෙන් ප‍්‍රීතිය ගෙන දේ.

වසරකට පසුව ගොඑන්කාතුමා තම ගුරුවරයා පිළිබඳව ගුණ කථනයක් කරමින් මෙසේ ලීවේය:
’එතුමා අභාවප‍්‍රාප්ත වී වසරක් ගත වුවත් පාඨමාලාවල සාර්ථකත්වය දෙස බලන විට මට තව තවත් තහවුරු වන්නේ බොහෝ දෙනෙකුට සේවය කිරීම සඳහා එතුමාගේ මෛත‍්‍රිය මට ශක්තියත් උනන්දුවත් ගෙන දෙන බවයි. ධර්මයේ ශක්තිය ප‍්‍රමාණ කළ නොහැකි බව ඉතා පැහැදිලියි. සයාජී ගේ අභිලාෂයන් ඉෂ්ටවෙමින් පවතියි. ශත වර්ෂ ගණනාවක් තිස්සේ ඉතා සැලකිළිමත් ලෙස රැක ගෙන ආ බුදුරජාණන් වහන්සේ විසින් දෙසූ ධර්මය දැන් මේ මොහොතේත් ප‍්‍රතිඵල ගෙන දෙයි.

සයාජී ඌ බා ඛිං තුමා පිළිබඳ තවත් තොරතුරු ඡුරසහ්එඑස වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

පාඨමාලා දින සටහන



විපස්සනා පාඨමාලා දින සටහන්


කොස්ගම
ධම්ම සෝභා විපස්සනා භාවනා මධ්‍යස්ථාන දින සටහන
බාලිකා විද්‍යාල පාර, පහළ කොස්ගම, කොස්ගම
Email: info@sobha.dhamma.org
Phone: [94] (36) 2253955


APPLY
 ====================================================

ඉච්චන්කුලම වැව පාර, කැලැත්තෑව, කුරුන්දන්කුලම, අනුරාධපුර
Phone: [025](222) 6959
.

 
  ====================================================
මෝබ්‍රේ, මහකන්ද, හිඳගල, පේරාදෙනිය,  මහනුවර
Phone: [94](081) 2385774; (081) 3837800,
Fax: [94](081) 238-5774


  ====================================================
 ධම්ම ධරණී විපස්සනා භාවනා මධ්‍යස්ථානය
මානේරුව, නෑගම්පහ 50180 
Phone: [94](025) 3248897; (071) 3982785,
 

 මෙම භාවනා ක්‍රමයේ ක්‍රියාකාරිත්වය තමන් විසින්ම අවබෝධ කර ගැනීමටත් එහි ප්‍රයෝජනය ගැන තීරණය කිරීමට අවංකව කැමති සියලූ දෙනාට පාඨමාලාවට සම්බන්ධවීමට ආරාධනා කරමු 
 
ඉල්ලූම් පතක් පුරවා යොමු කිරීමෙන් 
ඔබට විපස්සනා භාවනා පාඨමාලාවකට සහභාගිවීමට හැක.

මෙම විපස්සනා භාවනා මධ්‍යස්ථාන වලින් එකකට පැමිණීමෙන් හෝ
දුරකථන ඇමතුමක් මගින් ඔබේ ලිපිනය ලබා දීමෙන් හෝ
ලිපියකින් ඉල්ලුම් කිරීමෙන් ඉල්ලුම්පතක් ගෙන්වාගන්න.

=============================================

ධම්ම සෝභා විපස්සනා භාවනා මධ්‍යස්ථානය
බාලිකා විද්‍යාල පාර, පහළ කොස්ගම, කොස්ගම
Email: info@sobha.dhamma.org
Phone: [94] (36) 225-3955



 ධම්ම අනුරාධ විපස්සනා භාවනා මධ්‍යස්ථානය

ඉච්චන්කුලම වැව පාර, කැලැත්තෑව, කුරුන්දන්කුලම, අනුරාධපුර
Phone: [025](222) 6959


 ධම්ම කූඨ විපස්සනා භාවනා මධ්‍යස්ථානය
මෝබ්‍රේ, මහකන්ද, හිඳගල, පේරාදෙනිය,  මහනුවර
Phone: [94](081) 2385774; (081) 3837800, 
Fax: [94](081) 238-5774
 

 ධම්ම ධරණී විපස්සනා භාවනා මධ්‍යස්ථානය
මානේරුව, නෑගම්පහ 50180 
Phone: [94](025) 3248897; (071) 3982785,


==============================================

පාඨමාලා
දස දින නේවාසික පාඨමාලාවල උගන්වනු ලබන මෙම භාවනා පුහුණුවට සහභාගිවන්නන් නියමිත විනය නීති මාලාවක් අනුගමනය කරමින් භාවනා ක්‍රමය පිළිබඳව මූලික කරුණු හදාරමින් එහි ඵලදායි ප්‍රතිඵල අත්දැකීමට ප්‍රමාණවත් ලෙස ප්‍රගුණ කරති.

පාඨමාලාවේදී දැඩි උනන්දුවෙන් හා කැපවීමෙන් ක්‍රියා කිරීම අවශ්‍ය වේ.භාවනා පුහුණුව පියවර තුනකින් සමන්විතය. පළමු පියවර වන්නේ : පාඨමාලා කාලය තුල දී ප්‍රාණඝාතයෙන් වැළකී සිටීම, සොරකම් කිරීමෙන් වැළකී සිටිම, කාම යෙහි හැසිරීමෙන් වැළකී සිටිම, මුසාබස් කීමෙන් වැළකී සිටීම, සහ මත්පැන් - මත් ද්‍රව්‍යවලින් වැළකී සිටීම. මෙම සරල විනය නීති මාලාව සිත සන්සුන් කිරීමට ප්‍රයෝජනවත් වන්නේ කලබලකාරි සිතකින් ස්වයං නිරීක්ෂණය කිරීම කළ නොහැකි නිසාය.

දෙවන පියවර වන්නේ නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතින නාස් පුඩුවලින් ඇතුල් වන හුස්මෙහි සහ පිටවන හුස්මෙහි ස්වාභාවික සත්‍යතාවයට අවධානය යොමු කරමින් කිසියම් ප්‍රමාණයකට සිත පාලනය කර ගැනීමයි.

සිවු වන දිනය වන විට සිත වඩාත් සන්සුන් වේ, වඩාත් එකාග්රතාවයෙන් යුක්ත වේ. ශරීරය පුරාම සංවේදනාවන් නිරීක්ෂණය කරමින්,  ඒවායේ ස්වභාවය අවබෝධ කර ගනිමින්,  ඒවාට ප්‍රතික්‍රියා නොකර උපේක්ෂාව දියුණු කර ගනිමින්, විපස්සනා භාවනාව වැඩීමට ආරම්භ කිරීමට හැකි වේ.

අවසාන වශයෙන්, මෙම වැඩසටහනට සහභාගී වන සියලූ දෙනාටම අවසන් දිනයේදී මෛත්‍රී භාවනාව වැඩීමට ඉගෙන ගත හැකි වේ. එම අවස්ථාවේ දී, පාඨමාලා කාලය තුල දී වර්ධනය කර ගත් චිත්ත පාරිශුද්ධතාවය සියලූ සත්ත්වයන් වෙත අනුමෝදන් කරනු ලැබේ.

මේ මුලූ අභ්‍යාසයම ඇත්තවශයෙන්ම මානසික පුහුණුවකි. අපේ ශාරීරික නිරෝගී බව නංවාලීම සඳහා ව්‍යායාම කරන්නාක් මෙන් , මානසික නිරෝගී බව නංවාලීම සඳහා විපස්සනා භාවනාව උපයෝගී කර ගත හැක.

නියම වශයෙන්ම එය ප්‍රයෝජනවත් කියා සොයාගත් නිසා මෙම භාවනා ක්රමය සත්‍ය ස්වරූපයෙන්ම ආරක්ෂා කරගෙන යාමට විශේෂයෙන් අවධාරණය කෙරේ. එය උගන්වනු ලබන්නේ  වාණිජ අරමුණකින් තොරව, කිසිම අය කිරීමකින් තොරවය. මෙය ඉගැන්වීම සඳහා සම්බන්ධව සිටින කිසිම පුද්ගලයෙක් කිසිම ආකාරයක මූල්‍යමය හෝ ද්‍රව්‍යයමය ප්‍රතිලාභයක් නොලබයි.

පාඨමාලා සඳහා අය කිරීමක් නැත; ආහාර සහ නවාතැන් පහසුකම් වියහියදම් සඳහාවත් අය කිරීමක් නොකෙරේ. විපස්සනා භාවනා පාඨමාලාවක් සම්පූර්ණ කර විපස්සනාවෙන් ප්‍රයෝජන ලබා, තමන්ට ලැබුණු ඵල ප්‍රයෝජන ලැබීමට අනික් අයටත් අවස්ථාව උදාවේවා’ යන චේතනාවෙන් ඒ අය විසින් කරන ලද පරිත්යාගවලින් පාඨමාලා වියහියදම් ආවරණය කෙරේ.

ඇත්තවශයෙන්ම, ප්රගුණ කිරීම පවත්වා ගෙන යාමෙන් අනුක්‍රමිකව මෙහි ප්රතිඵල ලැබේ. දින දහයක් තුලදී සියලූ ප්‍රශ්න විසඳී යනු ඇතැයි බලාපොරොත්තු වීම යථාර්තවාදී නොවේ. කෙසේ වුවත් එම කාලය තුලදී විපස්සනාවේ අත්‍යවශ්‍ය කරුණු ඉගෙන ගත හැකි වේ. එය දෛනික ජීවිතයේදී ප්‍රයෝජනවත් වේ. භාවනා ක්රමය වැඩි වැඩියෙන් වඩන්නේ නම් එ් තරමට දුකින් මිදිමත්, අවසානයේදී ක්‍රමක්‍රමයෙන් පූර්ණ විමුක්තිය කරා ළඟා වීමත් සිදු වේ. දින දහයක භාවනාවෙන් පවා ලැබෙන ප්‍රතිඵල එදිනෙදා ජීවිතයට පැහැදිලි ලෙසම ප්‍රයෝජනවත් වේ.

මෙම භාවනා ක්‍රමයේ ක්‍රියාකාරිත්වය තමන් විසින්ම අවබෝධ කර ගැනීමටත් එහි ප්‍රයෝජනය ගැන තීරණය කිරීමට අවංකව කැමති සියලූ දෙනාට පාඨමාලාවට සම්බන්ධවීමට ආරාධනා කරමු . මේ සඳහා ප්‍රයත්න දරණ සියලූ දෙනාට විපස්සනා පුහුණුවෙන් නියම සතුට උදාකර ගෙන අනික් අයත් සමඟ බෙදා ගත හැකි ක්රමයක් බව දැන ගන්නට ලැබේවි.